අභිමානවත් 78 වැනි ජාතික නිදහස් දින සැමරුම කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී

දියුණු මානව සම්පතක් ගොඩනැගීම සඳහා අධ්‍යාපනයේ විශාලතම පරිවර්තනයක් ඇති කිරීමට සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානයක මහතා අවධාරණය කළා.
එල්ල වන ඕනෑම බාධාවකට එරෙහි වෙමින් නව මිනිසෙක් බිහි කිරීමේ පරිවර්තනීය කාර්යයට සූදානම් බව සඳහන් කළ ජනාධිපතිවරයා ඊට ජනතාවගේ සහය ලැබෙන බවට ද විශ්වාසය පල කරනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ අදහස් පල කළේ ජාතික නිදහස් දින සැමරුමේදී ජාතිය අමතමින්.

අභිමානවත් 78 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල මීට ටික වේලාවකට පෙර කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී නිමාව දුටුවා.
මෙවර ජාතික නිදහස් උළෙල දින සැමරුනේ “ගොඩනගමු ශ්‍රී ලංකා” යන තේමාව යටතේයි.

අශ්වාරෝහකයින් හෝ සන්නද්ධ හමුදා රථ නොමැතිව යුද හමුදා යතුරු පැදි බලකාය පමණක් පෙරටු කරගනිමින් ජනාධිපති හා සන්නද්ධ සේවා සේනාධිනායක අනුර කුමාර දිසානායක මහතාගේ පැමිණීමත් සමග නිදහස් දින උළලේ වඩ කටයුතු නිළ වශයෙන් ආරම්භ වුනා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා මංගල භේරී වාදනය මධ්‍යයේ ජාතික ධජය එසවීමත් සමගයි. අනතුරුව පාසල් කිහිපයක් නියෝජනය කරමින් සිසු සිසුවියන් 44 දෙනෙකු ජාතික ගීය ගායනා කළා.

ඉන් අනතුරුව‍යි ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ පීඨිකාව වෙත කැඳවාගෙන යනු ලැබුවේ.
එහිදී කොළඹ 8 දේවි බාලිකා විද්‍යාලය, කොළඹ 5 විශාඛා විද්‍යලය, කොළඹ 7 සිරිමාවෝ බණ්ඩාරනායක යන විද්‍යාල නියෝජනය කරමින් සිසුවියන් 16දෙනෙක් ජයමංගල ගාථා ගායනා සහ දේවෝ වස්සතු කාලේන ගාථා ගායනා කරමින් රාජ්‍ය නායකයාට ආශිර්වාද කළා. ඉන් අනතුරුවයි මාතෘභූමියේ ස්වාධීනත්වයේත් ස්වෛරීභාවයේත්, භෞමික අඛණ්ඩතාවයේත් තිර පැවැත්ම වෙනුවෙන් දිවි පිදූ සියලු ශ්‍රී ලාංකිකයන් අනුස්මරණය කිරීම සඳහා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් රැකීම සිදු කෙරුනේ.ඉන් අනතුරුව ත්‍රිවිධ හමුදා සම්මාන මුරය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ජනාධිපති උත්තමාචාර පිරිනැමුවා.
කෙසේ වෙතත් මෙවර ජනාධිපතිවරයාට ජනාධිපති සම්මාන ආචාර වෙඩිමුර පිරිනැමිමක් සිදු කෙරුණේ නැහැ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය ඇමතුවේ ඉන් අනතුරුවයි.

Share