දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ විනාශයට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ණය ගෙවීම් අත්හිටුවන ලෙස ලොව ප්රමුඛ පෙළේ ආර්ථික විද්‍යාඥයින් පිරිසක් ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් ඉල්ලා තිබෙනවා.
පාරිසරික විනාශයේ පරිමාණය සැලකිල්ලට ගෙන, රටේ ණය ආපසු ගෙවීම් කළමනාකරණය කළ හැකි මට්ටමකට යථා තත්ත්වයට පත් කිරීම සඳහා නව ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් හෝ ණය අත්හිටුවීමක් සඳහා කටයුතු කළ යුතු බවයි, 120 දෙනෙකුගෙන් යුත් මෙම ගෝලීය ආර්ථික විශේෂඥයින්ගේ කණ්ඩායම ඉල්ලා සිටින්නේ.
එම පිරිසට නොබෙල් ත්‍යාගලාභී ජෝසප් ස්ටිග්ලිට්ස් ද ඇතුළත්.
නොබෙල් ත්‍යාගලාභී ජෝසප් ස්ටිග්ලිට්ස්, එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් විශ්වවිද්‍යාලයේ කීර්තිමත් ඉන්දියානු ආර්ථික විද්‍යාඥ ජයති ගෝ,ෂ් ඩෝනට් ඉකොනොමික්ස් හි කතුවරිය වන කේට් රාවර්ත් ඇතුළු ආර්ථික විද්‍යාඥයින් 120 දෙනෙකු මෙම ඉල්ලීම කර තිබෙනවා.
දිට්වා සුළි කුණාටුව, ශ්‍රී ලංකාවට ඉතිහාසයේ මුහුණ දීමට සිදුවූ විශාලතම හා වඩාත්ම අභියෝගාත්මක ස්වාභාවික ව්‍යසනය ලෙස, ශ්‍රී ලංකා ජනාධිපතිවරයා හඳුන්වා ඇති බව පවසන මෙම කීරතිමත් ආර්ථීක විද්‍යාඥයින්, මෙම ව්‍යසනයෙන් ශ්‍රී ලංකාවේ පුද්ගලයින් 600 කට වැඩි පිරිසක් මිය ගිය බවත් ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ නිවාස සහ ජීවනොපාය මාර්ග විනාශ වී ඇති බවත් පෙන්වා දෙන්වා.
2022 දී ශ්‍රී ලංකා රජය ණය ගෙවීම් පැහැර හැරීමෙන් පසු ණය හිමියන් සමඟ පැවති දීර්ඝ සාකච්ඡාවලින් පසුව, පසුගිය වසරේ දී රටේ ඩොලර් බිලියන 9 ක විදේශ ණය ප්‍රතිව්‍යුහගත කරන ලද බවත්, එම ණය ප්‍රතිව්‍යුහගත සැලැස්ම ශ්‍රී ලංකාවේ බදු ගෙවන්නන් මත තිරසර නොවන බරක් පටවා ඇති බවත් ඔවුන්ගේ අදහසයි.
ඒ් අනුව සුළි කුණාටුව ඇති වීමට පෙර ද ණය ආපසු ගෙවීම් සඳහා වාර්ෂික වැය රජයේ ආදායමෙන් 25% ක් පමණ වූ බවත් එය ජාත්‍යන්තර හා ඓතිහාසික ණය ආපසු ගෙවීම් ප්‍රමිතීන්ට අනුව ඉහළ මට්ටමක් බවත් ඔවුන් පෙන්වා දෙනවා.
මෙම පාරිසරික හදිසි අවස්ථාව, රටේ වත්මන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පැකේජය මගින් නිර්මාණය කරන ලද අතිශය සීමිත මූල්‍ය අවකාශය අවශෝෂණය කර ගැනීමට සහ එය ඉක්මවා යාමට සූදානම්ව සිටින බව පෙන්වා දෙන විද්වතුන්, ඒ් අනුව ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අතිරේක බාහිර ණය දැනටමත් ලබා ගනිමින් සිටින බවත් ව්‍යසනයේ බලපෑම් සමහන් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට තවදුරටත් ණය ලබා ගැනීමට සිදුවනු ඇති බවත් සඳහන් කර තිබෙනවා.
ඒ් අනුව මෙම කීර්තිමත් ආර්ථික විද්‍යාඥයින් ගෝලීය ණය හිමියන් සහ මූල්‍ය ආයතනවලින් ඉල්ලා සිටින්නේ යුක්තිය සහ තිරසාරභාවය මත පදනම් වූ නැවත සිතා බැලීමක් වෙත ගෝලීය ණය හිමියන් යොමුවිය යුතු බවයි.
ශ්‍රී ලංකාවට දේශගුණික බලපෑම්වලින් ගොඩ ඒමට සහ සැමට සාධාරණ අනාගතයක් ගොඩනැගීමට යථාර්ථවාදී අවස්ථාවක් ලබා දිය යුතු බව ද ඔවුන් අවධාරණය කරනවා.





