පැවති දැඩි වර්ෂාව සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් බඩඉරිඟු ගොවීන් දැඩි පීඩාවකට පත්ව ඇතැයි වාර්තා වනවා.
ඔවුන් සඳහන් කරන්නේ වර්ෂාවත් සමඟ බඩඉරිගු මල් විනාශවී යාමෙන් අස්වැන්නේ සැලකිය යුතු ලෙස අඩු වී ඇති බවයි.
මේ අතර, දිට්වා බලපෑමෙන් හානි වූ ගොවි බිම් සඳහා මේ වන විට රුපියල් මිලියන 7500ක වන්දියක් ගෙවා ඇති බව ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ගොවි ජනතාව වී වගාවට අමතරව වගා කරනු ලබන බෝගයක් වන්නේ බඩ ඉරිගු වගාවයි.
කුරුලු වැව, සිවලාකුලම, පලුගස්වැව, හබරණ පුවක්පිටිය, රිටිගල, මුරියාකඩවල ආදී ප්‍රදේශවල බඩ ඉරිඟු බහුලව වගා කරනවා.
ගොවි ජනතාව පවසන්නේ නොවැම්බර්, දෙසැම්බර් යන මාසවල මහ කන්නයේ බඩඉරිගු වගා කටයුතු ආරම්භ කළද මෙවර එම කාලසීමාව තුළ ප්‍රදේශයට දැඩි වර්ෂාවක් ඇද හැලුණු බවයි.
වර්ෂාව හේතුවෙන් බඩ ඉරිඟු ගස්වල මල් හට ගැනීම අඩුවී ඇති අතර, එසේ හටගත් මල්වලින් හටගත් කරල් ද ඉතා කුඩා වීම නිසා වෙළඳපොළ වටිනාකමක් නොමැති වි ඇතැයි ගොවීන් පෙන්වා දෙනවා.
මේ සම්බන්ධව කැකිරාව සහ පලුගස්වැව ගොවි ජන සේවා නිලධාරීන් දැනුවත් කිරීමට ගොවි ජනතාව කටයුතු කළද ඉන් පළක් වී නැහැ.
ගොවින් ඉල්ලා සිටින්නේ වර්ෂාවෙන් සිදුවූ මෙම අස්වනු හානියට සරිලන වන්දි මුදලක් තමන්ට ලබා දෙන ලෙසයි
කෙසේවෙතත් දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් වී, ධාන්‍ය, බඩ ඉරිඟු, රටකජු සහ සෙසු බෝග වගා බිම්වල සඳහා මේ වන විට රුපියල් මිලියන 7500ක් ගොවි ජනතාව වෙත ගෙවා ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපතිවරයා පවසනවා.
ඔහු පවසන්නේ විනාශ වූ ගොවි බිම් නැවත වගා කිරීම සඳහා ගොවීන් 96,847කට හෙක්ටයාරයකට රුපියල් 150,000/=බැගින් මෙම වන්දි මුදල පිරිනැමූ බවයි.





