ඉතිහාසයේ පළමු වරට සුනාමි රළක් උපත ලැබූ අවස්ථාවේ සිට එය සාගරය පුරා ව්‍යාප්ත වන ආකාරය සම්පූර්ණයෙන්ම නිරීක්ෂණය කිරීමට විද්‍යාඥයින්ට හැකි වී තිබෙනවා.
ඒ රුසියාවේ කම්චැට්කා අර්ධද්වීපයට ඔබ්බෙන් වූ මුහුදේ සිදුවූ රික්ටර් පරිමාණ 8.8 ක දැවැන්ත භූමිකම්පාවකින් පසු හටගත් සුනාමි රළක් අභ්‍යවකාශයේ සිට සජීවීව නිරීක්ෂණය කිරීමට නාසා ආයතනය සමත් වීමත් සමඟයි.
නාසා ආයතනයේ SWOT චන්ද්‍රිකාව මගින් කිලෝමීටර් 120ක් පළල මෙම සුනාමි රළ සජීවීව පටිගත කර ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
2025 ජූලි 29 වැනිදා රුසියාවේ පැසිෆික් වෙරළ තීරයට ඔබ්බෙන් වූ කුරිල්-කම්චැට්කා කලාපයේ සිදු වූ රික්ටර් පරිමාණ 8.8 ක ප්‍රබල භූමිකම්පාවකින් පසු හටගත් සුනාමි රළ මෙලෙස සජීවීව නිරීක්ෂණය කිරීමට අමෙරිකාවේ නාසා විද්‍යාඥයින් සමත් වී තිබෙනවා.
එදින සුනාමි රළ මතුවී තිබුණේ භූමිකම්පාව සිදු වී විනාඩි 70 කට පමණ පසුවයි.
භූමිකම්පාවේ දැඩි බව හේතුවෙන් මුහුදු පතුලේ ඇතැම් කොටස් අඩි 13කින් ඉහළට එසවී ඇති බව සොයාගෙන තිබුණා.
මෙම භූමිකම්පාව නිසා ඇතිවූ පිපිරුම් කලාපය කිලෝමීටර් 402ක් දක්වා විහිදී ගොස් තිබෙනවා.
අදාල දත්ත ලබා ගැනීමට 2022 වසරේදී උඩුගුවනට යැවූ SWOT චන්ද්‍රිකාව සහ සාගර පතුලේ ඇති NOAA ආයතනයේ DART සංවේදක පද්ධතිය ඒකාබද්ධව භාවිතා කර තිබෙනවා.
මෙම සුනාමියෙන් වෙරළ තීරයට විශාල හානියක් වාර්තා නොවුණද, සාගරය තුළ මෙම රළ ඉතා ප්රබලව පැවති බවයි පර්යේෂකයින් පවසන්නේ.
මීට පෙර විද්‍යාඥයින් විශ්වාස කළේ සුනාමියක් යනු තනි රළක් ලෙස ගමන් කරන්නක් බවයි.
නමුත් මෙම නිරීක්ෂණයේදී එය රළ කිහිපයකට බෙදී යන බවත්, එහි පළල කිලෝමීටර් සිය ගනනක් විය හකි බවත් සොයාගෙන තිබෙනවා.
මෙම නව දත්ත මගින් 1952 වසරේ සිදුවූ භූමිකම්පාවක් පිළිබඳව ද අලුත් තොරතුරු අනාවරණය කර ගැනීමට විද්‍යාඥයින්ට හැකි වී තිබෙනවා.
2025 නොවැම්බර් මාසයේදී සෙස්මික් රෙකෝර්ඩ් සඟරාවේ මෙම සොයා ගැනීම් ප්‍රකාශයට පත් කරමින් නාසා විද්‍යාඥයින් පවසන්නේ, “2025 වසරේ රුසියාවේ කම්චැට්කා වෙරළට ඔබ්බෙන් සිදු වූ රික්ටර් පරිමාණ 8.8 ක දැවැන්ත භූමිකම්පාව නිසා ඇති වූ දැවැන්ත සුනාමි රළ අභ්‍යවකාශයේ සිට ග්‍රහණය කර ගැනීමට හැකි වූ බවත් වෙරළ තීරයන්හි විශාල රළ වාර්තා නොවූවද පැසිෆික් සාගරය සුනාමි රළ පහරට ගොදුරු වී තිබූ බවත්ය.
එමෙන්ම මෙම සොයාගැනීමේ වැදගත්කම පිළිබඳව අයිස්ලන්ත විශ්ව විද්‍යාලයේ සාගර විද්‍යාඥ ඒන්ජල් රූයිස්-ඇන්ගුලෝ පවසා තිබුනේ “මම SWOT දත්ත දකින්නේ අලුත් කණ්ණාඩි යුගලක් ලෙසයි. DART පද්ධති මගින් ලබා දුන්නේ තනි තනි ස්ථානවල දත්ත පමණයි. කලින් තිබූ චන්ද්‍රිකාවලට රළෙහි ඉතා පටු කොටසක් පමණයි නිරීක්ෂණය කළ හැකි වුණේ. මෙම නව තාක්ෂණය මගින් අනාගතයේදී සුනාමි රළක් හටගත් වහාම එය හඳුනාගෙන වෙරළබඩ ජනතාවට කලින් අනතුරු ඇඟවීමට හැකි වෙනවා.යනුවෙන්.
කෙසේ වෙතත් පර්යේෂකයින් පෙන්වාදෙන්නේ මෙය ජීවිත දහස් ගණනක් බේරා ගැනීමට උපකාරී වන වටිනා සොයා ගැනීමක් බවයි.




