දේශගුණික විපර්යාසවලට ගොදුරු වීමේ අවදානම සහිත, ණය බරින් පෙළෙන රටවල් වෙනුවෙන් ණය තිරසර රාමු වෙනස් විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
NewsWeek සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කර තිබුණේ, අර්ථවත් විවේචනවලට සවන් දීමට සූදානම් තමන් ශ්‍රී ලංකාව වඩා ශක්තිමත් ලෙස ගොඩනගන බවයි.
ශ්‍රි ලංකාව හරහා හමා ගිය දිට්වා සුළි කුණාටුව හේතුවෙන් සිදු වූ හානිය ඩොලර් බිලියන ගණනක් විය හැකි බවට ඇස්තමේන්තු කර ඇති බව NewsWeek සමග පැවති සම්මුඛ සාකච්ඡාවේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා තිබෙනවා.
එය ශ්‍රී ලංකාව මුහුණ දුන් ඔ්නෑම ස්වභාවික විපතකට වඩා වැඩි හානියක් බව පවසන ජනාධිපතිවරයා දේශගුණික විපත්වලින් නැවත ගොඩනැගෙමින් සිටින අතර ණය ගෙවීමට සිදුව ඇති බවද සිහිපත් කරනවා.
දේශගුණික විපත්වලට ගොදුරු විය හැකි රටවල් සඳහා ණය තිරසාර රාමු වෙනස් විය යුත්තේ මේ නිසා බව ජනාධිපතිවරයා සම්මුඛ සාකච්ඡාවේ දී සඳහන් කර තිබුණා.
ජනාධිපතිවරයා පවසන්නේ ඩොලර් බිලියන 25ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමට හැකි වුවත් ශ්‍රී ලංකාව දැන් මුහුණ දී ඇති අර්බුදය පාලන කළ නොහැකි එකක් බවයි.
ඒ් සමගම සෑම සබඳතාවක්ම වැදගත් බැවින් ශ්‍රී ලංකාව ඉන්දියාව, චීනය සහ එක්සත් ජනපදය යන ප්‍රධාන බලවතුන් සමඟ ඇති සබඳතා සමතුලිත කරගත යුතු ගැටලුවක් ලෙස නොසිතන බව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මෙම සම්මුඛ සාකච්ඡාවේදී සඳහන් කර තිබුණා.
ශ්‍රී ලංකාව ගෝලීය විමෝචනයට ඉතා අඩුවෙන් දායකවන රටක් වන නමුත් වසර ගණනාවක රටේ සංවර්ධන ප්‍රගතිය එක රැයකින් විනාශ කළ හැකි දේශගුණික කම්පනවලට ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුව ඇතැයි පෙන්වා දෙන ජනාධිපතිවරයා මේ උගුලෙන් මිදීමට සැලැස්මක් ගොඩනඟා ගැනීමට උදව් කරන ලෙස හවුල්කරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.
මේ අතර අත්‍යවශ්‍යම මොහොතේ ශ්‍රී ලංකාව සමඟ අත්වල් බැඳගැනීම පිළිබඳ ඇමෙරිකානු ජනපති ඩොනල් ට්‍රම්ප්ට ස්තූතිය පළ කරන බව X පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරනවා.
එක්සත් ජනපදය ශ්‍රි ලංකාව වෙනුවෙන් C130 යානා යෙදවීම සහ ඩොලර් මිලියන 2ක ආධාර ලබා දීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා එක්සත් ජනපද ජනාධිපතිවරයාට සිය ස්තුතිය පළකර තිබෙනවා.





