ගාල්ල මහ නගර සභාවේ විපක්ෂ මන්ත්‍රීවරිය ඇතුළු මන්ත්‍රීවරුන් ඇප මත මුදාහැරේ

ගාල්ල මහ නගර සභාවේ නාගරික ලේකම්වරිය ඇතුළු රජයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරියක් සහ මන්ත්‍රීවරු සිව්දෙනෙක් අද පොලිස් අත්අඩංගුවට ගනු ලැබුවා.
ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු ඔවුන් සියලු දෙනා ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත් සමීර දොඩන්ගොඩ මහතා නියෝග කළා.

ගාල්ල මහ නගර සභාවේ ඊයේ පැවති රැස්වීමේ දී විපක්ෂ මන්ත්‍රීවරු පිරිසක් නගර සභා ලේකම්වරිය ඇතුලු නිලධාරීන්ට චෝදනා කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වුණා.
පසුගිය දිනක අයවැය ඡන්ද විමසීමේ දී නගර සභා ලේකම්වරිය කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් මෙම විරෝධය එල්ල වුණා.
එහිදී විපක්ෂ මන්ත්‍රීවරු පිරිසක් ලේකම් මණ්ඩලයට ජල ප්‍රහාර එල්ල කළා.
එලෙස නොසන්සුන්කාරී ලෙස හැසිරෙමින් නාගරික ලේකම්වරිය ඇතුළු නිලධාරී මණ්ඩලයට ජල ප්‍රහාර එල්ල කර සාපරාධී බලහත්කාරය පා රාජකාරියට බාධාකිරීම සම්බන්ධයෙන් විපක්ෂ මන්ත්‍රීවරියක් ඇතුළු 5 දෙනෙකු අද පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා.
මෙලෙස අත්අඩංගුවට ගැනුණේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රීවරුන් වන ජිලිත් නිශාන්ත, එම්.එම්.එම්.යෙසීර්, සමගි ජන බලවේගය පක්ෂයේ ප්‍රභාත් සෙනවිරත්න, කපිල කොහොබන් සහ පොදු ජන එක්සත් පෙරමුණ මන්ත්‍රීනී නිමාලි චම්පිකායි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණා
එහිදී සැකකරුවන් රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට ගාල්ල මහේස්ත්‍රාත් සමීර දොඩන්ගොඩ මහතා නියෝග කළා.

Share