ග්‍රීන්ලන්තය වෙනුවෙන් ට්‍රම්ප්ගෙන් යුරෝපා මිතුරන්ට බදු

ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමට විරුද්ධ වන මිත්‍ර පාක්ෂික රටවල් අටකට තීරුබදු පනවන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කිරීමෙන් පසු යුරෝපා සංගම් තානාපතිවරු අද පස්වරු 5ට බ්‍රසල්ස් හි හදිසි රැස්වීමක් පැවැත්වීමට නියමිතයි.
මෙම රැස්වීමට යුරෝපා සංගමයේ රටවල් 27 ක තානාපතිවරු සහභාගී වනු ඇති.
පෙබරවාරි 1 වනදා සිට ඩෙන්මාර්කය, නෝර්වේ, ස්වීඩනය, ප්‍රංශය, ජර්මනිය, එක්සත් රාජධානිය, නෙදර්ලන්තය සහ ෆින්ලන්තය යන රටවලින් ආනයනය කරන භාණ්ඩ සඳහා 10% ක තීරු බද්දක් පැනවීමට සැලසුම් කර ඇති බවත් පසුව එය 25% දක්වා ඉහළ යා හැකි බවත් ට්‍රම්ප් අනතුරු අඟවා තිබෙනවා.
මේ අතර, යෝජිත එක්සත් ජනපද අත්පත් කර ගැනීමට විරෝධය පළ කරමින් සෙනසුරාදා ග්‍රීන්ලන්තයේ සහ ඩෙන්මාර්කයේ දහස් ගණනක් ජනතාව වීදි බැස විරෝධතාවල ද නිරත වුණා.
එක්සත් රාජධානියේ අගමැති කීයර් ස්ටාර්මර් මෙම පියවර සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවක් බව පැවසූ අතර ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පැවසුවේ එය “පිළිගත නොහැකි” බවයි.
මේ අතර, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ තර්ජනය “බ්ලැක්මේල් කිරීමක්” බව නෙදර්ලන්ත විදේශ අමාත්‍යවරයා පවසනවා.
අයර්ලන්ත විදේශ කටයුතු අමාත්‍ය හෙලන් මැක්එන්ටී ප්‍රකාශ කලේ, ට්‍රම්ප්ගේ තීරුබදු පැනවීමේ තර්ජනය “සම්පූර්ණයෙන්ම පිළිගත නොහැකි සහ ඉතා කණගාටුදායක තත්ත්වයක් බවයි.

Share