කොරතොට පත්තු වූ වෙඩි

නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේ දී ඊයේ රාත්‍රියේ දී සිදු කළ වෙඩි තැබිමකින් එක් අයෙක් මියගොස් තවත් දෙදෙනෙකුට තුවාල සිදුව තිබෙනවා.
යතුරුපැදියකින් හා ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයින් පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බව මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇති බවයි නවගමුව පොලීසිය සදහන් කළේ.
පුද්ගල කණ්ඩායමක් ඉලක්ක කරගෙන මේ වසරේ සිදුකල පළමු වෙඩි තැබිම ද මෙයයි.ඊයේ රාත්‍රී 9.30 ත් 10ත් අතර කාලයේදී නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේ නිවසක් වෙත යතුරුපැදියකින් හා ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයින් පිරිසක් විසින් එම නිවසේ සිටි පිරිසක් ඉලක්ක කරගෙන වෙඩිතැබීම සිදුකර තිබෙනවා.
එම වෙඩි තැබීම ස සඳහා මිලිමීටර 9 වර්ගයේ පිස්තෝල අවි භාවිතා කර ඇති බවටයි මෙතෙක් කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය කරගෙන ඇත්තේ.

වෙඩි තැබු ස්ථානයේ තිබී මිලිමීටර් 9 නවය වර්ගයේ උණ්ඩ කොපු 15ක් පමණ පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. වෙඩි ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ එම නිවසේ පුද්ගලයින් තිදෙනෙකු සිට ඇති අතර ඉන් එක් අයකු එම ස්ථානයේ දීම මියගොස් සිටි බවයි වාර්තා වුනේ.

මෙම වෙඩි ප්‍රහාරයෙන් නිවසේ සිටි අනෙකු දෙනොටද බරපතල තුවාල සිදු වී ඇති අතර ඔවුන් අතුරුගිරිය ඔරුවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා හෝමගම මූලික රෝහලට මාරුකර එවා තිබෙනවා.
වෙඩි තැබිමෙන් මියගොස් ඇත්තේ නිවසේ නාන කාමරය අසල සිටි 20 වන වියේ පසුවන තරුණයෙක්.
ඔහු බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවටත් හඳුනාගෙන තිබෙනවා.
රෝහල් ගතකර ඇත්තේ, අම්බලන්තොට වාඩියගොඩ සහ දෙමටගොඩ ගැවලමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්
ඉන් එක් අයෙකුගේ ශරීරයේ උණ්ඩ 4ක් සහ අනෙක් පුද්ගලයාගේ ශරීරයේ එක් උණ්ඩයක් තිබු බවත් ඔවුන් දෙදෙනාම සැත්කමකට භාජනය කර ඇති බවත් වාර්තා වනවා.
නවගමුව පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අදාළ වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත්තේ, කුලී පදනම මත ලබාගත් නිවසක සිටි පුද්ගලයින් තිදෙනෙකුට බවයි.
ඔවුන් තිදෙනා මෙම කුලී නිවසට මීට මාස එකහාමාරකට පමණ පෙර පදිංචියට පැමිණ ඇති අතර වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත්තේ නව වසර උදාවීම නිමිත්තෙන් මත්පැන් සාදයක් පවත්වන අතරතුරදී යි.
කෙසේ වෙතත් වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැති අතර, මෙය යම් පාතාල කණ්ඩායම් දෙකක් අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් බවට මුලික විමර්ශනවලින් අනුමාන කළ හැකි බව පොලිසිය සදහන් කළා.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා නවගමුව පොලීසිය සහ නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Share