මොනරාගල දිස්ත්‍රික්කයේ පිහිටි කොටිකම්බොක්ක ධමනි තිරුවානා නිධියේ කැණීම් සම්බන්ධයෙන් අභිලාෂ කැඳවීමට තීරණය කර තිබෙනවා.
ඊට පෙර පවතින සංචිත ප්‍රමාණය විද්‍යාත්මක ක්‍රමවේදයන් ඔස්සේ යළි ගණනය කර, පවතින නීතිමය හා පාරිසරික ගැටලු නිරාකරණය කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය පවසනවා.
මෙම තීරණයට එළැඹ තිබෙන්නේ තිරුවාන නිධිය නිරීක්ෂණය කිරීම සඳහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ඊයේ එහි කළ සංචාරයෙන් අනතුරුවයි.
මූලික විද්‍යාත්මක ගවේෂණයන්ට අනුව මීටර් 700ක භූමි ප්‍රමාණයක පැතිරී ඇති බවට සැලකෙන මොනරාගල දිස්ත්‍රික්කයේ පිහිටි මෙම ධමනි තිරුවානා නිධිය තුළ, මෙට්‍රික් ටොන් බිලියන 3.1ක පමණ විශාල තිරුවානා සංචිතයක් පවතින බවටයි හඳුනාගෙන ඇත්තේ.
මෙම වටිනා ඛණිජ සම්පත ජාතික ආර්ථිකයට දායක කරගැනීමේ හැකියාව පිළිබඳව සොයා බැලීම අමාත්‍යවරයාගේ සංචාරයේ අරමුණ වූ අතර, ක්ෂේත්‍ර නිරීක්ෂණයෙන් අනතුරුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සහ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවේදී තීරණ කිහිපයකට එළැඹ තිබෙනවා.
අනවසර කැණීම්කරුවන් මෙම අගනා ස්වාභාවික සම්පත අනවසරයෙන් කණින බවට ලද තොරතුරු මත, ක්‍රියාත්මක වූ කර්මාන්ත අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ ඛනිජ නිධිය රැක ගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් වහාම ක්‍රියාත්මක කළ යුතු බවයි.
ඒ් අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් නිධිය පිහිටි ප්‍රදේශයේ සීමා සලකුණු කිරීම සිදු කිරීමටත් නිධියේ පවතින සංචිත ප්‍රමාණය වඩාත් නිවැරදි හා නවීන විද්‍යාත්මක ක්‍රමවේදයන් ඔස්සේ යළි ගණනය කිරීමට තීරණය කර තිබෙනවා.
අනතුරුව විනිවිදභාවයෙන් යුත් කැණීම් ක්‍රියාවලියක් මගින් පවතින නීතිමය හා පාරිසරික ගැටලු නිරාකරණය කිරීමෙන් අනතුරුව, විධිමත් කැණීම් කටයුතු සඳහා කඩිනමින් අභිලාෂයන් කැඳවීමට ද පියවර ගන්නා ලෙසයි අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ.





