ආපදාවන්ගෙන් විපතට පත් ජනතාවට වන්දි මුදල් ලබා දීමේදී කිසිවෙක් අත්නොහැරෙන පරිදි එම කටයුතු සිදු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විෂය භාර නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
‘Rebuilding Sri Lanka’ යටතේ ජන ජීවිතය නැවත ගොඩනැගීම සඳහා සිදු කෙරෙන වැඩපිළවෙළ සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ අදහස් පල කළා.
‘Rebuilding Sri Lanka’ යටතේ ජන ජීවිතය නැවත ගොඩනැගීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් සැලසුම් කෙරෙන වැඩපිළිවෙළ සහ එහිදී මතුව ඇති ගැටලු පිළිබඳ සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා
ආරක්ෂක, කෘෂිකර්ම, වාරිමාර්ග, ජල සම්පාදන, ධීවර, ප්‍රවාහන, නිවාස සහ ඉදිකිරීම් ආදී විෂයයන්ට අයත් අමාත්‍යාංශවල ලේකම්වරුන්, අදාළ ආයතනවල ප්‍රධානීන් සහ සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් ද මේ සඳහා සහභාහී වී සිටියා.
නිවාස පිරිසිදු කර ගැනීම සඳහා රජයෙන් ලබා දෙන රුපියල් 25,000ක සහ ගෘහ උපකරණ මිලදී ගැනීමට ලබා දෙන රුපියල් 50,000ක දීමනාව මේ වසරේ දෙසැම්බර් 31 දිනට පෙර ලබා දීමට කටයුතු කරන ලෙස මෙහිදී ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා.
එමෙන්ම නිවාස සහ වගා හානි සඳහා වන්දි ගෙවීම්, දිවයින පුරා පවත්වා ගෙන යන සුරක්ෂිත මධ්‍යස්ථානවල කටයුතු, ජනතාව නැවත පදිංචි කිරීම, ජීවනෝපාය මාර්ග යළි ගොඩ නැගීම සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක වැඩපිළිවෙළ සහ එහි ප්‍රගතිය පිළිබඳ මෙහිදී විමසා බැලුණා.
වන්දි ලබා දීමේ ක්‍රියාදාමයේදී මතුව ඇති ගැටලු පිළිබඳව විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර, එම කටයුතු කාර්යක්ෂම කිරීම සහ කිසිවෙක් අත්නොහැරෙන පරිදි වන්දි හිමි විය යුතු සියලු දෙනාටම එම ප්‍රතිලාභය ලබා දීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.
අධි අවදානම් සහිත ප්‍රදේශවල ජනතාව කඩිනමින් එම ස්ථානවලින් ඉවත් කර සුරක්ෂිත ස්ථානවල පදිංචි කිරීමේ අවශ්‍යතාව පෙන්වා දී ඇති ජනාධිපතිවරයා නිවාස හානි සඳහා වන්දි ලබාදීමේදී සාධාරණ සහ විනිවිද භාවයෙන් යුතුව එම කටයුතු ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවද පැහැදිලි කර තිබෙනවා.





