මෙම වසරේ ජනවාරී පළමු වැනිදා සිට එක්සත් රාජධානිය වෙත අපනයනය කෙරෙන භාණ්ඩ 90%කට වඩා වැඩි ප්‍රමාණයකට එරට නව තීරුබදු රහිත පහසුකම හිමිවන බව නිදහස් වෙළඳ කලාප ආයෝජකයින්ගේ සංගමය පවසනවා.
එම සංගමය පවසන්නේ මේ හේතුවෙන් ඉදිරි ආයෝජන අවස්ථාවන් පුළුල් වී මෙරට දළ දේශීය නිෂ්පාදිතයට 5%ත් 10%ත් අතර අගයකින් ඉහළ යනු ඇති බවටයි.
බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඊයේ නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ශ්‍රී ලංකාවෙන් සිදුකෙරෙන ආනයන වෙනුවෙන් බ්‍රිතාන්‍ය ව්‍යාපාර හා වෙළෙඳ දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දෙනු ලැබූ නව වෙළෙඳ පැකේජය මෙම වසරේ ජනවාරි 1වනදා සිට ක්‍රියාත්මක බවයි.
සංවර්ධනය වෙමින් පවතින රටවලින් සිදුකෙරෙන ආනයන සරල කරමින් මෙම වෙළෙඳ පැකේජය හඳුන්වා දී තිබීම විශේෂත්වයක්.
එහිදී එක්සත් රාජධානිය වෙත අපනයනය කෙරෙන බොහෝ භාණ්ඩ, තීරුබදු රහිතව අපනයනය කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාව සැලසෙනවා.
ඒ අනුව සංවර්ධනය වෙමින් පවතින රටවල් වලින් අපනයනය කරන, ඇඟලුම්, ආහාර, ඉලෙක්ට්‍රොනික උපකරණ ඇතුළු භාණ්ඩ ගණනාවකට මෙම තීරුබදු රහිත ප්‍රවේශය හිමිවනු ඇති.
ශ්‍රී ලංකාවේ නිමි ඇඳුම් අපනයන සඳහා ලොව දෙවන විශාලම වෙළෙඳපොළ ඇත්තේ එක්සත් රාජධානිය සමගයි.
එහි වටිනාකම ආසන්න වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 675ක්.
නව වැඩපිළිවෙළ යටතේ මෙරට නිමි ඇඳුම් අපනයනය කැපී පෙනෙන මට්ටමකින් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වූ වෙළෙඳ වැඩසටහන මගින් රටවල් 65ක් සඳහා මෙම වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මකයි.





