ඉන්දියාවට පැනවූ එක්සත් ජනපද තීරුබදු අනුපාතය 50% සිට 18% දක්වා අඩු කිරීමට සුදානම් බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබෙනවා.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, රුසියානු තෙල් මිලදී ගැනීම නතර කර ඇමරිකා එක්සත් ජනපදය හරහා වෙනිසියුලාවෙන් තෙල් මිලදී ගැනීමට සුදානම් බව ප්‍රකාශ කිරීමත් සමඟ මෙම තීරුබදු අඩුකිරීමේ එකඟතාව ප්‍රකාශ වී ඇති බවයි පැවසෙන්නේ
ඊයේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ පැවති දුරකථන සංවාදයකින් අනතුරුව එක්සත් ජනපද ජනාධිපතිවරයා මෙම නව එකඟතාව සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ ප්‍රකාශ කළේ, ‘අගමැති මෝදි කෙරෙහි ඇති මිත්‍රත්වය, ගෞරවය සහ ඔහුගේ ඉල්ලීම පරිදි, මෙම තීරණය ගත් බවයි.
වහාම ක්‍රියාත්මක වන පරිදි, එක්සත් ජනපදය සහ ඉන්දියාව අතර වෙළඳ ගිවිසුමකට එකඟ වූ බව ද ඩොලර් බිලියන 500 කට වඩා වටිනා ඇමරිකානු බලශක්ති, තාක්‍ෂණය, කෘෂිකාර්මික සහ අනෙකුත් නිෂ්පාදන මිලදී ගැනීමට ඉන්දියාව සුදානම් බව ද එහි වැඩිදුරටත් සඳහන් කර තිබුණා.
ඒ් සමගම මෙම නව එකඟතාව පිළිබඳ නිවේදනය කරමින් ඉන්දීය අගමැතිවරයා සඳහන් කර තිබුණේ ” ඉන්දියාවේ බිලියන 1.4 ක ජනතාව වෙනුවෙන් ජනාධිපති ට්‍රම්ප්ට බොහෝම ස්තූතියි,” යනුවෙන්
“විශාල ආර්ථිකයන් දෙකක් සහ ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රටවල් එකට වැඩ කරන විට, එය අපගේ ජනතාවට ප්‍රතිලාභ ලබා දෙන අතර අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාවය සඳහා අතිමහත් අවස්ථාවන් විවෘත කරන බව ද අගමැති මෝදි සිය X ගිණුමේ සඳහන් කර තිබුණා
පසුගිය අගෝස්තු මාසයේදී, එක්සත් ජනපද ජනාධිපතිවරයා විසින් ඉන්දියාවෙන් ආනයනය කරන ලද භාණ්ඩ සඳහා පැවති තීරුබදු 50% දක්වා දෙගුණ කළේ, රුසියානු තෙල් මිලදී ගැනීම නවතා දමන ලෙසට බලකරමින්.
මෙම මස මුලදී එක්සත් ජනපද ජනාධිපතිවරයා යළිත් අනතුරු අඟවා තිබුණේ, ඉන්දියාව රුසියානු තෙල් මිලදී ගැනීම් නතර නොකළහොත් තීරුබදු අනුපාතය නැවත ඉහළ දමන බවටයි.
78 වසරක් පුරා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රභල සාමාජිකයකු වූ එක්සත් ජනපදය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකත්වයෙන් ඉවත් කරගනිද්දී, එක්සත් ජනපදයේ ඩිමොක්‍රටික් පක්ෂයට බලය හිමි කැලිෆෝර්නියා ප්‍රාන්තය ස්වාධීනව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකත්වය ලබාගැනීමට පියවර ගෙන තිබෙනවා.
ඒ් සම්බන්ධයෙන් නිවේදනය කරමින් කැලිෆෝර්නියා ආණ්ඩුකාර ගැවින් නිව්සම් සඳහන් කර තිබුණේ, ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් මෙහෙයවන ‘ගෝලීය වසංගත අනතුරු ඇඟවීමේ සහ ප්‍රතිචාර ජාලය’ සමඟ එක් වූ පළමු සහ එකම ඇමරිකානු ප්‍රාන්තය කැලිෆෝනියාව වන බවයි.
මධ්‍යම රජයේ විදේශ ප්‍රතිපත්තියෙන් බැහැරව, ප්‍රාන්තයක් ජාත්‍යන්තර ආයතනයක් සමඟ සෘජුව සහයෝගීතාවයකට එළඹුණු සුවිශේෂී අවස්ථාවක් ලෙය සැලකෙන අතර, ඔහුට අනුව යමින් තවත් එක්සත් ජනපද ප්‍රාන්ත කිහිපයක්ම, ට්‍රම්ප් ඉවත්වූ එක්සත් ජාතීන්ට අනුබද්ධසංවිධානවල සාමාජිකත්වය ලබාගැනීමට ඉඩ ඇති බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ.
සති අන්තයේ පැවති ග්‍රැමී සම්මාන උළෙලේදී සම්මාන ලබාගැනීමට වේදිකාවට පැමිණි සම්මානනීය කලාකරුවන් කිහිප දෙනෙක්ම එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ සංක්‍රමණ ප්‍රතිපත්තියට විරෝධය පළකරමින් කළ ප්‍රකාශ ජනාධිපති ට්‍රම්ප්ගේ කෝපයට හේතු වී තිබෙනවා.
සම්මානය ලබා ගැනීම සඳහා වේදිකාවට පැමිණි බිලී අයිලිෂ්ට සුබ පතමින්, එප්ස්ටයින් ලිපිගොනුවල කරුණු ද ඈඳා ගනිමින් සම්මාන උළෙල ඉදිරිපත් කළ විකට නළු ට්‍රෙවර් නෝවා කළ ප්‍රකාශයට එරෙහිව නඩු පවරන බවට එක්සත් ජනපද ජනාධිපතිවරයා අනතුරු අඟවනවා.
ට්‍රම්ප් ග්‍රීන්ලන්තයට කැමති තරම්ම, සෑම කලාකරුවෙකුම ග්‍රැමී සම්මානය ලබා ගැනීමට කැමති බව පැවසූ ට්‍රෙවර් නෝවා, එප්ස්ටයින් නැති වූ දා සිට, බිල් ක්ලින්ටන් සමඟ කාලය ගත කිරීමට ට්‍රම්ප්ට නව දූපතක් අවශ්‍ය වී ඇති බව ග්‍රැමී වේදිකාවේදී සඳහන් කර තිබුණා.
මෙම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ට්‍රම්ප් සිය ටෘත් සෝෂල් ගිණුමේ සටහන් කර ඇත්තේ, මේ, දක්ෂතා නැති, දුක්ඛිත ග්‍රැමී ඉදිරිපත් කරන්නා වෙත ඉක්මනින් තම නීතිඥයින් යවන බවයි.





