හෙට අරඹන වන්දි ප්‍රදානය

ආපදාවෙන් පූර්ණ හානි සිදු වූ නිවාස වෙනුවෙන් වන්දි ප්‍රදානය සහ නව නිවාස ඉදිකිරීමේ වැඩපිළිවෙළ ජනවාරි 09 වැනි දා
ආරම්භ කිරීමට නියමිතයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ අනුරාධපුරයෙන් සහ කුරුණෑගලින් වැඩපිළිවෙළ ආරම්භ කරන බවයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී.

දස වන පාර්ලිමේන්තුවේ, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ දෙවැනි රැස්වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ පස්වරුවේ සහභාගී වුණා.

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ වැඩපිළිවෙළහි වත්මන් තත්ත්වය
සහ යළි පදිංචි කිරීමේ සහ වගා හානි සඳහා වන්දි ලබා දීමට ක්‍රියාත්මක වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.

නිවැරදි දත්ත රැස් කර ගනිමින්, සත්‍ය සංඛ්‍යා ලේඛන මත පදනම්ව අදාළ වන්දි ගෙවීමේ කටයුතු කඩිනම් කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙන බවද ජනාධිපතිවරයා මෙහිසී පවසා තිබෙනවා.

ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් වෙනුවෙන් ක්‍රියාත්මක ණය යෝජනා ක්‍රමය පිළිබඳ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ බැංකු සමඟ සාකච්ඡා කර, එම ණය මුදල ලබා ගැනීම පිළිබඳව ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක් අවශ්‍ය බවයි.

එමෙන්ම, රටේ ආර්ථිකයට දායක වන සෑම ව්‍යාපාරයක්ම ලියාපදිංචි කිරීම සඳහා වූ යාන්ත්‍රණයක අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා එහි ප්‍රතිලාභ පිළිබඳ ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කිරීමේ අවශ්‍යතාවද පෙන්වා දී තිබෙනවා.

සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් වෙන් කර තිබෙන මුදල් කාර්යක්ෂමව වැය කිරීමේ අවශ්‍යතාව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, එසේ නොවුණහොත් නිසි කාලය තුළ අපේක්ෂිත සංවර්ධන අරමුණු ඉටු කර නොහැකි වනු ඇති බවද සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

Share