අවදානමට පෙර දුටු හිමි

යටත් විජිත සමයේ ස්වදේශික උරුමය ආරක්ෂා කරලීම උදෙසා ශ්‍රී ලාංකිකයින් තුල ජාත්‍යාලය ජනිත කිරීමට සිය පන්හිඳ මනා ලෙස හැසිරවූ ටිබෙට් ජාතික එස් මහින්ද හිමියන් පිළිබඳව බොහෝ තොරතුරු ඔබ දන්නවා ඇති.
එදා ටිබෙටයේ මහින්ද හිමියන් මෙරටුන් වෙනුවෙන් ඉටුකළ ඒ මහා ජාතික මෙහෙවර සේම, උන්වහන්සේගේ ම ඥාතිි පරපුරෙන් පැවත එන තවත් ටිබේට් ජාතික හිමිනමක් මේ මහා ව්‍යසනයේදී අපේම ආදරණිය මිනිසුන් පිරිසකගේ ජීවිත රැකගත් පුවතක් ටී වී සුප්‍රීම් අපට වාර්තා වුනේ බදුල්ල පාලාවත්ත ගම්මානයෙන්.

බදුල්ල පාලාවත්ත ගම්මානයේ පිහිටි සිරිබෝධිරාජාරාම විහාරස්ථානයේ වැඩවාසය කරන ටිබෙට් ජාතික සිකින් අමරජෝති හිමියන් මේ ප්‍රදේශයේ දිවිගෙවන අහිංසක ගම්මුන් වෙනුවෙන් අර්ථයෙන් සහ ධර්මයෙන් අනුශාසනා කළ හිමිනමක්.
දින ගණනාවක් තිස්සේ ඇද හැලුන අධික වර්ෂාවත් සමග මහා ව්‍යසනයක සේයාවක් දැනී තිබූ නිසා පසුගිය 27 වැනිදා අලුයමින්ම උන්වහන්සේ පාලාවත්ත ගම්වැසියන් සොයා වැඩම කර තිබුණා.
ඒ අධික කඳු බෑවුම් සහිත ප්‍රදේශයක් වූ එම කලාපයේ පැවති නායයාමේ අවධානමද නොතකා සිය නිවාස තුළම රැඳි සිටි ගම්මුන් 150 ක පමණ පිරිසක් වහාම ආරක්ෂිත ස්ථානයකට යොමු කිරීමේ පරම පවිත්‍ර චේතනාවෙන්.
ඒ අනුව පාලාවත්ත ගම්මානයේ නිවාස රැසක ජීවත් වූ පිරිසකගේ ජීවිත නායයාම් රැසක් සිදුවීමට පෙර ආරක්ෂා කර ගැනීමට උන්වහන්සේට හැකිවී තිබුණේ මහා ආශ්චර්යයක් ලෙසින්.

විහාරස්ථ භූමිය සහ ගම්මානයේ බොහෝ නිවාස කඩා හැලුනු පස් කඳු විසින් යටකර දැමුවත් අමරජෝති හිමියන්ගේ අධිෂ්ඨානය යට කර දමන්නට ඒවාට හැකි වූයේ නැහැ.
තමන්ට සිව් පසින් සංග්‍රහ කරන ගම්මුන් ආරක්ෂා කරගත් අමරජෝති හිමියන් මේ වන විටත් ඔවුන්ගේ සියලු අවශ්‍යතා ඉටු කරමින් සිටින්නේ පාලාවත්ත ගමටම රැකවරණය සපයමින්.

Share