අම්බලන්ගොඩ නගරයේ පිහිටි වෙළෙඳ ආයතනයක කළමනාකරුවෙකුට වෙඩිතබා ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ, කොල්ලුපිටිය ප්‍රදේශයේ ලැගුම් හලක රැඳී සිටියදී.
පසුගිය 22දා උදෑසන අම්බලන්ගොඩ නගරයේ පිහිටි වෙළෙඳ ආයතනයක කළමනාකරුවෙකු සිය සේවා ස්ථානයේදීම වෙඩි තබා ඝාතනය කර තිබුනේ යතුරු පැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින්.
අපරාධ කල්ලි දෙකක් අතර ඇතිවූ ගැටුමක ප්‍රතිඵලයක් මත මෙම වෙඩි තැබීම සිදුව ඇති බවටයි පොලීසිය සැකපළ කළේ.
ඒ අනුව මෙම ඝාතනය සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශන ආරම්භ කරනු ලැබුවා.
එහිදී මෙම ඝාතනය සම්බන්ධයෙන් ආධාර අනුබල දුන් සැකකරුවන් පිරිසක් කොල්ලුපිටිය ප්‍රදේශයේ ලැගුම්හලක සිටින බවට ලද තොරතුරකට අනුව මෙහෙයුමක් ආරම්භ කර සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ මෙම සැකකරුවන් 6 දෙනා ඉදිරි විමර්ශන සඳහා අම්බලන්ගොඩ පොලිසියට භාරදුන් බවයි.





