අඩසියවසකට පසු ලොව සිදුවන පළමු මිනිසුන් සහිත චන්ද්‍ර මෙහෙයුම මේ වන විට අවසන් අදියරට

අඩසියවසකට පසු ලොව සිදුවන පළමු මිනිසුන් සහිත චන්ද්‍ර මෙහෙයුම මේ වන විට අවසන් අදියරට පැමිණ තිබෙනවා.
එය නම් කර ඇත්තේ ආර්ටිමිස් 2 ලෙසයි. වසර 50කට වැඩි කාලයකට පසු සඳ වෙත මිනිසුන් යැවීමේ නාසා ආයතනයේ ආර්ටිමිස් II මෙහෙයුමේ කොටසක් ලෙස SLS චන්ද්‍ර රොකට්ටුව සහ ඔරියන් අභ්‍යාවකාශ කැප්සියලුය ෆ්ලොරිඩාවේ කේප් කැනවරල් හි දියත් කිරීමේ පීඨිකාව වෙත ගෙන රැගෙන විත් තිබෙනවා.
මීටර් 98 ක් උස අභ්‍යවකාශ දියත් කිරීමේ පද්ධතිය කෙනඩි අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ එකලස් කිරීමේ ගොඩනැගිල්ලේ සිට කිලෝ මීටර් 6.5ක් දුරින් පිහිටි පීඨිකාව වෙත සිරස් අතට රැගෙන ඒමේ ගමනට ගත වූ කාලය පැය 12ක්.
සියල්ල සැලසුම් පරිදි සිදු වුවහොත් මෙහෙයුම දියත් කළ හැකි මුල්ම දිනය ලෙස නාසා ආයතනය පවසා ඇත්තේ පෙබරවාරි 6 වැනිදායි.
මෙහෙයුම සඳහා අභ්‍යවකාශගාමීන් සිව්දෙනෙකු මේ වන විට තෝරාගෙන අවසන්.
දින 10ක් පුරා දිවෙන මෙම චන්ද්‍ර මෙහෙයුමේ දී මිනිසෙකු මෙතෙක් අභ්‍යවකාශයේ ගමන් නොකළ තරම් ඈතකට ගමන් කිරීමට නියමිතයි.
නාසා අණදෙන නිලධාරී රීඩ් වයිස්මන්, ගුවන් නියමු වික්ටර් ග්ලොවර්, මෙහෙයුම් විශේෂඥ ක්‍රිස්ටිනා කොච් සහ කැනේඩියානු අභ්‍යාවකශ ඒජන්සියේ ජෙරමි හන්සෙන් දෙවැනි මෙහෙයුම් විශේෂඥ ලෙස චන්ද්‍ර ගමනට එක්වනවා.
ආර්ටිමිස් II මෙහෙයුමේ දී සඳ මත ගොඩබැසීමක් සිදු වන්නේ නැහැ.
මෙම මෙහෙයුමේ මූලික අරමුණ වන්නේ 2027 හෝ 2028 වසරවලදී මිනිසුන් සැබවින්ම සඳ මත පා තබන “ආර්ටිමිස් III” මෙහෙයුම සඳහා අවශ්‍ය කරන ආරක්ෂිත පසුබිම සකස් කිරීමයි.
අවසන් කාර්ය මණ්ඩල සඳ මෙහෙයුම ඇපලෝ 17 වූ අතර එය 1972 දෙසැම්බර් මාසයේදී සඳ මතුපිටට ගොඩ බැස්සා.
සමස්තයක් වශයෙන්, ගගනගාමීන් 24 දෙනෙකු සඳට ගමන් කර ඇති අතර ඔවුන්ගෙන් 12 දෙනෙකු එහි මතුපිට ඇවිද ගොස් ඇති අතර සඳට ගිය පුද්ගලයින් අතුරින් දැනට ජීවත්ව සිටින්නේ පස් දෙනෙකු පමණයි.
ඇමරිකාව මුලින්ම සඳ තරණය කළේ 1960 ගණන්වල, ප්‍රධාන වශයෙන් සෝවියට් සංගමය පරාජය කර එහි භූ දේශපාලනික හා තාක්ෂණික ආධිපත්‍යය තහවුරු කර ගැනීමේ අරමුණින්.
එම ඉලක්කය සපුරා ගත් පසු, දේශපාලන උද්යෝගය සහ මහජන උනන්දුව මෙන්ම අනාගත සඳ මෙහෙයුම් සඳහා අරමුදල් ද අඩු කෙරුණා.
ආර්ටිමිස් වැඩසටහන වර්ධනය වූයේ සඳට ආපසු යෑමේ මිනිසුන්ගේ අභිප්‍රාය මත වුවත් මෙවර නව තාක්‍ෂණය සහ වාණිජ හවුල්කාරිත්වයන් වටා ගොඩනගා ඇති දිගුකාලීන පැවැත්මක් නිර්මාණය වී තිබෙනවා.
තවත් රටවල් කිහිපයකට 2030 න් පසු මිනිසුන් සඳ මත ගොඩබැස්වීමේ අභිලාශයෙන් කටයුතු කරමින් සිටිනවා.
යුරෝපීය ගගනගාමීන් පසුකාලීන් ආර්ටිමිස් මෙහෙයුම්වලට සම්බන්ධ වීමට නියමිත අතර ජපානය ද අවස්ථාවක් ලබා ගෙන සිටිනවා.
චීනය තමන්ගේම යානයක් ගොඩනඟමින් සිටින අතර, 2030 වන විට සඳෙහි දකුණු ධ්‍රැවය අසළට පළමුවරට ගොඩබැසීම ඉලක්කයයි.
රුසියාව 2030 සහ 2035 අතර කාලය තුළ අභ්‍යවකාශගාමීන් සඳ මතුපිටට පියාසර කිරීම සහ කුඩා කඳවුරක් ඉදිකිරීම ගැන දීර්ඝ කාලයක් අදහස් පල කරමින් සිටිනවා.
කෙසේ වෙතත්, සම්බාධක, අරමුදල් පීඩන සහ තාක්ෂණික පසුබෑම් හේතුවෙන් එහි කාලසටහන පැහැදිලි නැහැ.
ඉන්දියාව ද තම ගගනගාමීන් සඳ මත ඇවිදිනවා දැකීමේ අභිලාෂයන් ප්‍රකාශ කර තිබෙනවා.
2023 අගෝස්තු මාසයේදී චන්ද්‍රයාන් 3 චන්ද්‍ර දකුණු ධ්‍රැවය අසල ගොඩබෑමේ සාර්ථකත්වයෙන් පසුව, ඉන්දියාවේ අභ්‍යවකාශ ඒජන්සිය 2040 පමණ වන විට සඳ වෙත ගගනගාමීන් යැවීමේ ඉලක්කයක් තබා තිබෙනවා.

Share