ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයට සහ දිගුකාලීන සංවර්ධන ඉලක්ක සපුරාලීම සඳහා සහාය ලබාදීමට කැමති බව යුරෝපා සංගමය යළිත් තහවුරු කර තිබෙනවා. මෙම සහතිකය ලබා දී ඇත්තේ ජාත්‍යන්තර හවුල්කාරිත්වය පිළිබඳ යුරෝපා සංගමයේ කොමසාරිස් Jozef Síkela මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර පැවති ද්විපාර්ශ්වික හමුවකදී.
ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හි පැවැත්වෙන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීම අතරතුර අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ජාත්‍යන්තර හවුල්කාරිත්වය පිළිබඳ යුරෝපා සංගමයේ කොමසාරිස් ජොසෙෆ් සිකෙලා මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වුණා.
එහිදී ආර්ථික ප්‍රතිසාධනය, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, ඩිජිටල් පරිවර්තනය, දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සහ තිරසාර සංවර්ධනය යන ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳ දෙපාර්ශ්වයේ අවධානය යොමු ව තිබෙනවා.
අග්‍රාමාත්‍යවරිය සහ ආසියානු සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති මසාටෝ කන්දා මහතා අතර හමුවක් ද පැවැත්වුණා. ශ්‍රී ලංකාව සහ ආසියානු සංවර්ධන බැංකුව අතර පවත්නා සම්බන්ධතාවය සහ අනාගත සහයෝගීතාවය ශක්තිමත් කිරීම කෙරෙහි මෙහිදී අවධානය යොමු වී තිබෙනවා. මේ අතර ලෝක ආර්ථික සංසදයට සමගාමීව පැවැත්වෙන ගෝලීය සංචාරක සංසදයේ ඉහළ පෙළ සංවාදයකට ද අග්‍රාමාත්‍යවරිය සහභාගී විමට නියමිතයි.





