අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියට එරෙහිව විපක්ෂය අද විශ්වාසභංග යෝජනාවකට අත්සන් තැබුවා.
මෙම විශ්වාසභංග යෝජනාව ගෙන එන්නේ වත්මන් ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ ළමා මනසට නුසුදුසු දෑ මෙන්ම විෂය කරුණු සම්බන්ධයෙන් වැරදි රාශියක් පැවතීම සහ ඒ සම්බන්ධයෙන් විධිමත්ව කටයුතු නොකිරීම හේතුවෙන්.
6 ශ්‍රේණියේ දරුවන් අතර බෙදා දීමට නියමිතව තිබූ ඉංග්‍රිසි මොඩියුලයේ සමලිංගික වෙබ් අඩවියක දිගුවක් අන්තර්ගත වීම හේතුවෙන් නව විෂය මාලව සම්බන්ධයෙන් සමාජයේ පුලුල් සාකච්ඡාවක් පවතිනවා.
එවන් පසුබිමක වත්මන් ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ ළමා මනසට නුසුදුසු දෑ මෙන්ම විෂය කරුණු සම්බන්ධයෙන් වැරැදි රාශියක් පැවතීම හේතුවෙන් සහ ඒ සම්බන්ධයෙන් විධිමත්ව කටයුතු නොකිරීම නිසා අධ්‍යාපන අමාත්‍යවරිය වන හරිනි අමරසූරිය මෙනවියට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් අත්සන් කිරීමට විපක්ෂය තීරණයක් ගත්තා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් අදාළ යෝජනාවට අත්සන් තැබීම අද ආරම්භ වුණේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී.
මේ අතර අද පාර්ලිමේන්තුවේ දී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවේ 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයේ මතභේදයට තුඩු දුන් පාඩම සම්පූර්ණයෙන් ම ඉවත් කිරීමට ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යයන උපදේශක මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙන බවයි.
එමෙන්ම 6-13 ශ්‍රේණි සඳහා අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමේ කාර්ය සාධන බලකායේ මාර්ගගත ආරක්ෂණය, ඩිජිටල් යහපැවැත්ම සයිබර් ආරක්ෂණයට අදාළ කාර්ය කන්ඩායම සමඟ සාකච්ඡාවක් අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා.
එහිදී පාසල් සිසුන් සඳහා විෂයමාලා සකස් කිරීම, පෙළපොත් සකස් කිරීම සහ සමාලෝචනය සිදු කරන නිලධාරීන් සඳහා මාර්ගගත ආරක්ෂණය, ඩිජිටල් යහපැවැත්ම, සයිබර් ආරක්ෂණය වෙනුවෙන් මාර්ගෝපදේශ සංග්‍රහයක් සකස් කිරීම සඳහා අග්‍රාමාත්‍යවරිය උපදෙස් ලබා දී තිබෙනවා.
මෙවන් පසුබිමක් තුළ වුවද නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ විෂයමාලා වෙනස් කිරීම සම්බන්ධයෙන් ගුරු සහ විදුහල්පති වෘත්තීය සමිතිවලින් එල්ල වන චෝදනා අඩුවක් නැහැ.





