මැදපෙරදිග කලාපයේ උත්සන්න වී ඇති යුදමය වාතාවරණය මෙරට ආර්ථිකයේ ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක් සඳහා සෘජු බලපෑම් එල්ල කරනු ලබනවා.
දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දීමෙන් පසු යළි ගොඩනැඟෙමින් පවතින ශ්‍රී ලංකාවේ ආර්ථිකයට මැදපෙරදිග මෙම ගැටුම කෙසේ බලපායිද?
මේ විමසා බැලීම ඒ පිළිබඳවයි.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය බොහෝ විට රඳා පවතින්නේ විදෙස් ප්‍රේෂණ මතයි.
2025 වසරේ මෙරටට ලැබුණු විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමරිකානු ඩොලර් බිලියන 8ක්.
එයින් 50% ක පමණ ප්‍රමාණයක් ලැබෙන්නේ මැද පෙරදිග කලාපයේ රැකියාවල නියුතු මිලියනයකට මදක් වැඩි ශ්‍රී ලාංකිකයන්ගෙන්.
කලාපීය ගැටුම් හේතුවෙන් ඔවුන්ගේ රැකියා අහිමි වීමේ අවදානමක් ඇති වුවහොත් එය මෙරට ආර්ථිකයට සෘජු බලපෑමක් එල්ල කරනු ඇති. එහි බලපෑම මෙරට කුටුම්භවලටද බලපෑම් කරනු ලබනවා.
ඔවුන්ගේ දෛනික වියදම්, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා සපයා ගැනීම විදෙස්ගත ඥාතීන් මෙරටට එවනු ලබන මුදල් මත රඳා පැවතීම ඊට හේතුවයි.
අපනයන ක්ෂේත්රය
අපනයන ක්ෂේත්රය ගත් කළ මෙරට ප්‍රධානතම අපනයන භාණ්ඩය ලෙස ඇඟලුම් හඳුන්වා දිය හැකි අතර එම ලැයිස්තුවේ දෙවැනි තැන හැමි කරගන්නේ තේ අපනයනයයි.
2025 වසර තුළදී මෙරටින් අපනයන කර ඇති තේ වල වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 1289කට අධිකයි.
වැඩි වශයෙන් මෙරටින් තේ අපනයනය කරන්නේ මැද පෙරදිග කලාපයටයි.
2025 වසරේ ජනවාරි සිට ඔක්තොබර් දක්වා කාලය තුළ මැද පෙරදිග රටවලට සිදු කර ඇති සමස්ත අපනයන වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 882 ක්.
ආනයන
එමෙන්ම පවතින ගැටුම් හේතුවෙන් නාවික ගමනාගමනය දැඩි අර්බුදයකට ලක්ව තිබෙනවා.
හෝමුස් සමුද්‍ර සන්ධිය, රතු මුහුද සහ සූවස් ඇල හරහා යාත්‍රා කිරීම අවදානම් වීම හේතුවෙන් බොහෝ නැව් සමාගම් මිල අධික සහ අධික දුරක් ඇති අප්‍රිකාව වටා යාත්‍රා කිරීමට පොළඹවනු ලබනවා.
ඒ තුළ රක්ෂණය, නැව් ගාස්තු වැනි වියදම් ඉහළ යෑම මත ආනයන හා අපනයන පිරිවැය වැඩිවීමේ තර්ජනයකට ද ශ්‍රී ලංකාවේ කර්මාන්තකරුවන්ට මුහුණ දීමට සිදුවනු ඇති.
සංචාරක කර්මාන්තය
මැදපෙරදිග ගැටුම ලොව පුරා ගුවන් ගමන්වලට සැලකිය යුතු බලපෑමක් මේ වන විටත් එල්ල කර තිබෙනවා.
ඩුබායි, දෝහා වැනි ලොව කාර්යබහුලම ගුවන් ගමන් කේන්ද්‍රස්ථාන ප්‍රහාරයට ලක් වීම මෙම තත්ත්වය වඩාත් ත්‍රීව කර තිබෙනවා.
ඒ තුළ යුරෝපීය සහ ඇමෙරිකානු කලාපයේ ඉහළ ක්‍රය ශක්තියක් ඇති සංචාරකයින් ශ්‍රීලංකාව ඇතුලු ආසියානු කලාපයට පැමිණීම අධෛර්මත් කරනු ඇති.
වසරේ සංචාරකයින්ගේ ඉහළම පැමිණීමක් සිදුවන මාසයක් වන මාර්තු මාසයේ ඇති වූ මෙම තත්ත්වය ශ්‍රී ලංකාවට ප්රබලව බලපෑම් කරනවා.
එමගින් සංචාරක ආදායම අහිමි වීමක් පමණක් නොව ඒ ආශ්රිත සෘජු හා වක්‍ර රැකියාවේ නියුතු වූවන්ගේ ආදායම ද අඩු වීමක් හෝ මුලුමනින්ම අහිමි කිරීමක් විය හැකියි.
එහි බලපෑම අවම කර ගැනීමට නම් ශ්‍රී ලංකාව කඩිනමින් විකල්ප සංචාරක වෙළෙඳපොළ වෙත යොමු විය යුතු බව ක්ෂේත්රයේ නිපුණයන් පෙන්වා දෙනවා.





