මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් වරදකරු වූ බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට 2009 දී ඇය විසින්ම පිහිටුවන ලද ඩකා හි ස්ථාපිත විශේෂ ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාවක් මගින් අද මරණ දඬුවම නියම කළා.
ඇයට මරණ දඬුවම නියම වූයේ පසුගිය වසරේ එරට පැවති ශිෂ්‍ය විරෝධතා මර්දනය සම්බන්ධයෙන්.
කෙසේ වෙතත්, අරගලයත් සමග බංග්ලාදේශයෙන් පලා ගොස් ඉන්දියාවේ මේ වනවිට රැකවරණය ලබමින් සිටින හසීනාට එරෙහි මෙම නඩු විභාගය පැවැත්වුණේ ඇයගේ සහභාගීත්වයෙන් තොරවයි.
බංග්ලාදේශයේ හිටපු අගමැති ෂෙයික් හසීනාට එරෙහි නඩු විභාගයේ තීන්දුව ප්‍රකාශයට නියමිතව තිබිය දී පසුගිය දින කිහිපය පුරාම රට පුරා ප්‍රචණ්ඩකාරී සිද්ධීන් රැසක් වාර්තා වුණා.
මේ හේතුවෙන් අද ඩකා අගනුවර ඇතලු නගර රැසක දැඩි ආරක්ෂක විධි විධාන යොදා තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
මාසයක් පමණ කාලයක් පැවති නඩු විභාගයේ තීන්දුව විශේෂ ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාව අද ප්‍රකාශයට පත් කළා.
මෙය දේශීය වශයෙන් සිදු කෙරුණු යුද අපරාධ පිළිබඳ විභාග කිරීම සඳහා ෂෙයික් හසීනා විසින්ම විශේෂයෙන් පිහිටවනු ලැබූ විනිශ්චය සභාවක් වීම විශේෂත්වයක්.
ත්‍රි පුද්ගල විනිශ්ච සභාවේ තීන්දුව පිටු 453 කින් සමන්විත වුණා.
පැයකට වැඩි කාලයක් ප්‍රකාශයට පත් කළ තීන්දුව අනුව විනිශ්චය සභාව තීරණය කර තිබුණේ ශිෂ්‍ය විරෝධතා මර්දනයේ දී හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකු මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදු කර ඇති බවයි.
එල්ල වී තිබූ චෝදනා පහෙන් දෙකකට ෂෙයික් හසීනාට මරණ දඬුවම නියම වූ අතර තවත් චෝදනාවක් සම්බන්ධයෙන් ඇයට ජීවිතාන්තය දක්වා සිර දඬුවම නියම වුණා.
තීන්දුව ප්‍රකාශයට පත් කිරීමත් සමග අධිකරණයේ සහ අවට රැස්ව සිටි පිරිස අත්පොලසන් දෙමින් ප්රිති ඝෝෂා නැගුවා.
හිටපු ස්වදේශ කටයුතු අමාත්‍ය අසාදුස්සමාන් ඛාන් කමල්ට ද මරණ දඩුවම නියම වූ අතර රජයේ සාක්ෂිකරුවෙකු වූ හිටපු පොලිස්පති අබ්දුල්ලා අල් මනුන්ට ද වසර පහක සිර දඬුවමක් නියම කර තිබෙනවා.
මේ අතර මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වූ බලයෙන් පහ කරන ලද බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා සහ හිටපු ස්වදේශ කටයුතු අමාත්‍යවරයාට අයත් රටේ සියලුම දේපළ අත්පත් කරගැනීමේ නියෝගයක් ද නිකුත් කළා.
මේ අතර තමාට එරෙහිව ලබා දුන් ‘අධිකරණ තීන්දුව අසාධාරණ සහ දේශපාලනික අරමුණින් යුතු එකක්’ යැයි බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා එම තීන්දුව හෙළා දකිමින් ප්‍රකාශ කර තිබෙනවා.
ඇය නඩු තීන්දුවෙන් පසු නිකුත් කළ පිටු පහක ප්‍රකාශයේ සඳහන් කර ඇත්තේ මරණ දඬුවම යනු දේශපාලන බලවේගයක් ලෙස අවාමි ලීගය අහෝසි කිරීමේ අන්තර්කාලීන රජයේ ක්‍රමය බවයි.
රජයේ රැකියා සඳහා වූ මතභේදාත්මක කෝටා ක්‍රමයක් හේතුවෙන් ආරම්භ වූ මහජන විරෝධතා මර්දනයේදී පුද්ගලයන් 1,400 ක් පමණ මිය ගිය බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවක් ඇස්තමේන්තු කර තිබෙනවා.
විරෝධතා අවසන් වූයේ ෂෙයික් හසීනා පසුගිය වසරේ අගෝස්තු මාසයේ දී ඉන්දියාවට පලා යාමත් සමඟ යි.
ඇය මේ වනවිට ඉන්දියාවේ රැකවරණය ලබමින් නවදිල්ලියේ ආරක්ෂිතව ජීවත් වන බවත් ඉන්දියාව ඇයට”රාජ්‍ය නායකයෙකුට මෙන්” ඇයට සලකන බවත් ඇයගේ පුත් සජීබ් වාසෙඩ් ප්‍රකාශ කරනවා.
1947 දී නැගෙනහිර බෙංගාලයේ මුස්ලිම් පවුලක උපත ලද හසීනාට දේශපාලනය තම ලේ උරුමයක්ව තිබුණා.
ඇගේ පියා 1971 දී පකිස්තානයෙන් නිදහස ලබාගෙන එහි පළමු ජනාධිපති බවට පත් වූ බංගලාදේශයේ “ජාතියේ පියා” වූ ජාතිකවාදී නායක ෂෙයික් මුජිබර් රහ්මාන්.
ඒ වන විට හසීනා ඩකා විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය නායිකාවක් ලෙස කීර්තියක් අත්කර ගෙන සිටියා.
1975 හමුදා කුමන්ත්රණයකින් ඇගේ පියා ඔහුගේ පවුලේ බොහෝ සාමාජිකයන් සමඟ ඝාතනය වූ අතර ඒ වන විට විදේශ ගතව සිටි හසීනා සහ ඇගේ බාල සොහොයුරිය පමණක් දිවි ගලවා ගත්තා.
ඉන්දියාවේ පිටුවහල්ව ජීවත් වූ හසීනා 1981 දී නැවත බංගලාදේශයට පැමිණි අතර ඇගේ පියා අයත් වූ අවාමි ලීගයේ දේශපාලන පක්ෂයට නායකත්වය දුන්නා.
ඇය මුලින්ම බලයට පත් වූයේ 1996 දි.
එහිදී ඇය ගෞරවයට පාත්‍ර වූයේ ඉන්දියාව සමඟ ජලය බෙදාගැනීමේ ගිවිසුමක් අත්සන් කිරීම සහ රටේ ගිනිකොණ දෙසින් ගෝත්‍රික කැරලිකරුවන් සමඟ සාම ගිවිසුමක් අත්සන් කිරීම සම්බන්ධයෙන්.
පසුව ඇය 2001 දී බංගලාදේශ ජාතිකවාදී පක්ෂයේ ඇගේ හිටපු සටන් සගයාව සිට පසුව සතුරා බවට පත් වූ බෙගම් ඛලීඩා සියා හමුවේ පරාජය වුණා.
2009 දී භාරකාර රජයක් යටතේ පැවති මැතිවරණයෙන් හසීනා නැවත බලය අත්පත් කර ගත්තා.




